ලංකාවේ ප‍්‍රථම වරට කසළවලින් විදුලිය

garbage
කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කෙරවලපිටියේදී සිදුවිය.
කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරෙයි.
කසළ සම්පතක් කර ගනිමින් විකල්ප ක්ෂේත‍්‍ර සඳහා යොමු වීම මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවූ අතර කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක‍්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී ලෙස අවසන් බැහැරලීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළවලින් ගත හැකි ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහාත් විධිමත් වැඩසටහනක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
ඒ යටතේ වත්තල, කෙරවළපිටිය ප‍්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘති සඳහා ලංකා ජෑන්ග් ආයතනය හා වෙස්ටර්න් පවර් ආයතනය රුපියල් බිලියන 27 ක ආයෝජනයක් සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එක් බලාගාරයකින් මෙගාවොට් 10 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරෙයි.
ඉදිරි වසර දෙක තුළ මෙම සියලු ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සදහා අමාත්‍යවරු රැසක් එක්ව සිටියේය.