අපූරු වෙළෙන්දෝ

sellers

 By: සොනාල ගුණවර්ධන                      

මා කුඩා කළ අප නිවසට පැමිණෙන වෙළෙන්දෝ කීප වර්ගයක් විය. ඒ අතරින් වේවැල් වලින් සාදන ළද විශාල එළවලු වට්ටියක් හිස මත තබාගෙන පැමිණෙන අවුරුදු හැත්තෑවක් පමණ වූ සීයා කෙනෙකු සුවිශේෂී විය. ඔහු එළවළු පිළිවෙලකට සකස් කළේ අප නිවස ඉදිරි පස වු කණ්ඩියක සිටය. ඔහු කෙදිනකවත් අපට එළවළු විකුණන්නට උත්සාහ දරනවා මට මතක නැත. ඔහු පැමිණි විගස මා ද අසලට ගොස් වාඩිවෙන්නේ ඔහු එළවළු පිළිවෙලකට සකස් කරන අන්දම බැලීමට ය. ඔහු සතුව තිබූ කුඩා වක් පිහියට මා කැමති බව ඔහු දැන සිටි බැවින් ඔහු එළවළු නොකපන විට මට එය ලබා දුන්නේය. එවැනි වයසක සිට ඔහු එම රැකියාව කළේ එය ජීවිතය ගෙන යෑමට තිබු එකම මාර්ගය වු නිසා වීමට පුළුවන. ඒත් ඔහු වැඩිකල් එලෙස පැමිණියේ නැත.

විටින් විට දෙහි හෝ අමු මිරිස් ගෝනියක් කර තබා ගෙන පැමිණි වයස අවුරුදු හතලිහක් පමණ වූ වෙළෙන්දා ද අපූරු අයෙකි. මා අලෙවිකරණය පිළිබඳ ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ ඔහුගෙන් ය. ඔහු භාෂාව හැසිර වූයේ ඔහුගෙන් මිලදී නොගන්නේ නම් අපට මහත් පාඩුවක් වන අයුරිනි. ඔහු සෑම විටම ග්‍රෑම් සියයක් හෝ දෙසීයක් වැඩිපුර ලබාදෙනවා මෙන් රඟපෑ නමුදු එසේ කළේ නැත. අප කිසිදිනෙක ඔහු හරවා යවනවා ද මතක නැත. ඔහුගේ භාෂා විලාශය හේතුවෙන් අපේ තාත්තා ඔහුට ” පුකේ කරුණාව” යනුවෙන් නමක්ද පටබැඳ තිබුණි. ඔහුට සිදුවුයේ කුමක්දැයි යන්න ගැන කවුරුත් නොදනී.

රවුම් තොප්පියක් පැළඳගෙන බිත්තර පෙට්ටියක් සහිත බයිසිකලය පැදගෙන එන “බිත්තර මුදලාලි ” වැඩි කතා බහක් නැති අයෙකි. ඔහු සිනහමුසු මුහුණින් වෙළඳාම කර පිටවී යයි. ඔහු අදටත් එලෙසමය. ඔහුගේ පෙනුම ද එදා දුටු විලසමය. දිනපතා සැතපුම් ගණන් බයිසිකලය පැදීමෙන් ලැබෙන ව්‍යායාමය නිසාදෝ ඔහුගේ වයසට යෑම නැවතී ඇති බව හැඟේ.

“කඩල කමු..විනාඩි පහෙන් මහත් වෙමු” යයි හඬගා සීනුව නාද කරමින් පැමිණි කාල වර්ණ සිරුරැති තම්බපු කඩල විකුණු වෙළෙන්දා සැහෙන ජනප්‍රිය අයෙකි. ඔහු පැමිණියේ හිටි හැටියේම වුවත් ඔහුගේ කඩල වලට දැමු මිශ්‍රණය නිසා එය රසවත් වූවක් විය. ඔහු ඇවිද්දේ කඩදාසියක් ලිපේ දමා පැමිණි අයෙකු විලසිනි. ඔහුගෙන් කඩල ගැනීමට ඔහුගේ පිටුපස දිව යා යුතු විය. එකල එය අපට මහත් විනෝදය ගෙන දෙන්නකි. ඔහු LTTE ඔත්තුකරුවෙකු බව පසුව හඳුනාගෙන තිබූණි. ඔහුට සිදුවුයේ කුමක්ද යන්න ගැන අප අදටත් දන්නේ නැත.

අතීතකාමය වර්තමානයේ ජීවත්වීමට බාදාවක් බව මම දනිමි. එහෙත් මේවා මතකයෙන් ගිලිහී යාමට පෙර කොහේ හෝ සටහන් කර තිබීම සුදුසු යැයි හැඟෙන නිසා විවේකී විට ලියමි.